සිසු දරුවන් වෙනුවෙන් තම මෝටර් රථය දුන් විදුහල්පති හාමුදුරුවෝ

සිසු දරුවන් වෙනුවෙන් තම මෝටර් රථය දුන් විදුහල්පති හාමුදුරුවෝ

දඟකාර කෙළිලොල් වියේ පසු වූ කොලු පැටවුන් වුවද ඒ මොහොතේ ඔව්හු නිසොල්මනේ බලා සිටියහ. සුදෝ සුදුවතින් සැරසී පාසලේ තවත් එක් උදෑසන රැස්වීමකට පෙළගැසී සිටි මේ දරුවන් ගේ මුහුණුවලින් පළවූයේ සන්සුන් බවකි. උදෑසන පන්සිල් ගැනීමෙන් පසු ඇරැඹුණු රැස්වීමට වෙනදා මෙන්ම එදින ද ගුරුවරු මෙන්ම විදුහල්පති හිමියෝ ද සහභාගිවූහ.

පාසලේ දියුණුව සහ දරුවන්ගේ හැදියාව අගය කරමින් විදුහල්පති හිමියන්ගේ අනුශාසනාවේදී උන්වහන්සේගෙන් පිට වූ වදන් පෙළක් හා සමඟම එතෙක් නිසොල්මනේ සිටි දරු පැටවුන් ගේ මුවින් නැඟුණේ විස්මය දනවන හඬකි. ඉහළට ඇදි සුසුම් පහත හෙළීමට අමතකව ඇතැමකු බලා සිටිද්දී තවත් පිරිසකගේ නෙතඟ ඇදුණු කඳුළැල් සමඟින් වතෙහි සිනහමල් විකසිත වූයේය.

වසර ගණනක සිට පාසලේ සෑම සිසු දරුවකුගේ ම පාහේ එකම සිහින ප‍්‍රාර්ථනාව මල්පල ගන්නට යන මේ මොහොතේ සැවොම කඳුළු අතරින් සිනහසුණහ. ආත්ම ශක්තියේ සහ අධිෂ්ඨානයේ හැඟුමන් උදෑසන විකසිත වන මල් පොහොට්ටු මෙන් හද ගැබ නැඟී එද්දී පාසලේ උදෑසන රැස්වීම එකම අභිමානනීය ගීතයක් බවට පත්වූයේය. තුටු කඳුළින් තෙත් වූ හදවත් පතුලෙහි අධිෂ්ඨානයේ මල් පිපී ගියේය.

විදුහල්පති ලබුතලේ සුදස්සන හිමි

’අධිෂ්ඨානයේ මල් යායක්’

පසුගිය සතියේ දිනක මෙලෙසින් ‘අධිෂ්ඨානයේ මල් විකසිත වූයේ ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයීය සිසු දරුවන්ගේ සිත් ගැබ්හී ය. ඒ කතාව අසන්නට අපූරු කතාවකි.

ශ‍්‍රී ලංකාවේ අග‍්‍රගණ්‍ය පිරිමි විදුහලක් වන ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය සියනෑ කෝරළයේ ප‍්‍රමුඛතම පිරිමි පාසල ද වෙයි. මෙහි අකුරු කරන සිසු දරු සංඛ්‍යාව 5000 ඉක්මවති. බොහෝ පහසුකම්වලින් සමන්විත මේ පාසලේ අඩුපාඩුවක් වූයේ පිහිනුම් තටාකයක් නොමැතිකමය. අත්තනගලු ඔය ගලන ඉසව්වේ මෙන්ම හංවැල්ල පැත්තෙන් කැලණි මිටියාවතේද වෙසෙන දරුවන්ගෙන් ද සපිරුණු මේ පාසලට පිහිනුම් තටාකයක් ඇත්නම් මුළු රටටම දක්ෂ පිහිනුම් ශූරයන් බිහිකළ හැකිවෙතැයි යන අදහස මුලින්ම පළවූයේ ලබුතලේ සුදස්සන ගරු විදුහල්පති ස්වාමීන්වහන්සේ වෙතිනි.

එතැනින් ඇරැඹුණු මේ මහා කර්තව්‍යය සැබෑවක් වීමට ගතවූයේ ඉතා සුළු කාලයකි. පාසල් ආදි ශිෂ්‍ය සංගමය පිහිනුම් තටාකය ඉදිකිරීමේ ප‍්‍රායෝගික කි‍්‍රයාදාමයට අත ගැසුවේය. පාසල් සංවර්ධන සමිතියේ නොමසුරු සහයෝගය ද ඊට ලැබිණි. පිහිනුම් තටාකය සඳහා ඇස්තමේන්තු කළ මුදල රුපියල් ලක්ෂ තුන්සියයකි.

”හිතුවොත් කරන්ඩ බැරි දෙයක් නැහැ. අධිෂ්ඨාන පාරමිතාවට හා වීර්ය පාරමිතාවට සම්බන්ධ කතා ප‍්‍රවෘත්ති බුදු දහමෙහි අනන්තය, අප‍්‍රමාණය.” විදුහල්පති හිමියන්ගේ මුවින් පිට වූ ඒ වදන් සමඟ ඒ මහා කාර්යයෙහි වැඩ සුබ මොහොතින් පටන් ගත්තේය.

දැන් මෙම ව්‍යාපෘතියේ රුපියල් ලක්ෂ සියයකට අධික ප‍්‍රමාණයක වැඩ කටයුතු අවසන් වී ඇත්තේය. ප‍්‍රදර්ශන, ලොතරැයි, යනාදිය මඟින් අමාරුවෙන් සොයාගත් මුදල් දැන් අවසන්ය. පිහිනුම් තටාක ව්‍යාපෘතියේ වැඩ ද අඩකින් පමණ අවසන්ය.

”තටාකයේ යටි පතුලේ සිට කොන්කී‍්‍රට් බීම් දමා තටාකය සාදා අවසන්. පිඟන් ගඩොල් ඇල්ලීම සහ අනෙකුත් උපකරණ සවි කිරීමත් තටාකයට අවශ්‍ය නාන කාමර, විවේකාගාර සහ රථගාල් යනාදී තවත් අංගෝපාංග හදන්න තියෙනවා.

මට විශ‍්‍රාම යන්න තියෙන්නේ මේ වසරේ ඔක්තෝබර් පළමුවැනිදා. පටන්ගත් මේ කාර්යය නිම නොකර මට යන්න බැහැ. මගේ එකම අපේක්ෂාව මෙහි වැඩ කටයුතු අවසන් කිරීම” යැයි විදුහල්පති හිමියෝ පැවසූහ.

උන්වහන්සේ ගේ සිත කෙතරම් සංවේදී එමෙන්ම අධිෂ්ඨානශීලී ශක්තිමත් එකක් ද යන්න කාටත් අවබෝධ වූයේ මේ අසීරු අවස්ථාවේදී ය. “සියනෑ කෝරළයේ දරුවන් වෙනුවෙන් බණ්ඩාරනායකයේ දරුවන් වෙනුවෙන් මං මේ කාර්ය අවසන් කරනවා... කරනවාමයි..” විදුහල්පති හිමියන්ගේ සිත්හි උපන් අධිෂ්ඨානය ප‍්‍රකාශයට පත්වූයේ එදා උදේ පාසල් රැස්වීමේදී ය.

”මගේ ප‍්‍රයෝජනයට තියෙන කාරෙක මං මේ දරුවන් වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමයට පරිත්‍යාග කරනවා. ඒක පළමුවැනි තෑග්ගට දීලා අපි ලොතරැයියක් කරමු. කොහොමහරි පිහිනුම් තටාකයේ වැඩ අවසන් කරමු.” උන්වහන්සේ පැවසූහ.

”රටේ තත්ත්වය අනුව අපට කානිවල් කරලා සල්ලි හොයන්න බැහැ. මේ මෝටර් රථය මං පෞද්ගලික මුදලින් ගත් ඩ්ඪඨඩ ඩ්ධදඤච වර්ගයේ රථයක්. ඉහළ වෙළෙඳපොළ අගයක් තියෙනවා. පටන්ගත්ත මේ වැඩේ ඉවර නොකර ගියොත් මට හිතේ සැනසිල්ලක් නැහැ. මං මගේ පන්සලටත් වඩා මේ පාසලට මේ පුංචි දරුවන්ට ආදරෙයි. පාසලක් හදා දරුවන් යහමඟ යවන එක පන්සලක බණ මඩුවක් හදනවාට වඩා පින් සිදුවෙන වැඩක්.

පාසලේ පොඩිවුන් මේ මෝටර් රථයට හරිම ආසයි. මා උදෑසන පාසල් එන්නේ මේ රථයෙන්. ඒ එනවිට පුංචි ළමයි මේක පස්සෙන් දුවගෙන එනවා. නතර කරලා තියෙනකොට ‘සාදුගෙ කාර් එක’ කියා හරි ආසාවෙන් අතගා බලනවා”

විදුහල්පති හිමියන් උදෑසන රැස්වීමේදී සිසු දරුවන් හමුවේ කළ ප‍්‍රකාශය පසුදා පුවත්පත්වල පළවීමත් සමඟ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සියලු වැඩ රාජකාරි අතරතුරේ හිමිදිරියේ දුරකථනයෙන් විදුහල්පති හිමියන් අමතා උන්වහන්සේගේ මෙම සත් කි‍්‍රයාව ඉතා ඉහළින් අගය කළේය. අද සමාජයේ වැඩි දෙනකු ඉහළ තානාන්තරත් සමඟ ලාභ අපේක්ෂා ප‍්‍රාර්ථනා කරද්දී ලබුතලේ සුදස්සන හිමියන් තමන් සතු ඉස්තරම්ම වර්ගයේ මෝටර් රථය සිසු දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම අද මුළු රටක් ම අගය කරන්නේය.

”අපේ ජනාධිපතිතුමා පුදුමාකාර නායකයෙක්. මුළු මහත් රටක නායකයා වන එතුමා කෙතරම් නම් රාජකාරි බහුල කෙනෙක් ද? ඒ සියලු රාජකාරි අතරේ මා එක්ක කතා කරන්නත් එතුමා කාලය යොදා ගත්තා. එතුමාගේ ආශිර්වාදය මුදලට වඩා අපට ලොකු ශක්තියක්. එතුමා ඉන් පෙන්නුම් කළේ එතුමාගේ උදාර නායකත්ව ලක්ෂණයි. අප රට වැනි රටවලට එවන් නායකයන් වාසනාවක්” යැයි විදුහල්පති හිමියෝ පැවසූහ.

ඉදිකෙරෙමින් පවතින පිහිනුම් තටාකය

ඇතැම් විදුහල්පතිවරුන් පාසලකට පත්වී පැමිණි පසු ප‍්‍රථමයෙන්ම කරන ඉල්ලීම් අතරින් එකක් වන්නේ තම ප‍්‍රයෝජනය සඳහා ‘මෝටර් රථයක් තිබෙනවා නම් හොඳය’ යන්නය. එසේ වුවද ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පති ස්වාමීන්වහන්සේ සිය පෞද්ගලික මෝටර් රථය දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කළහ. මෙය සාමාන්‍ය සමාජයේ සිදුවන කි‍්‍රයාදාමයක් උඩු යටිකුරුවීමක් ලෙස හැඳින්විය හැකිය.

මෙම ලොතරැයි ව්‍යාපෘතිය නම් කර ඇත්තේ ‘අධිෂ්ඨාන’ නමිනි. ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතිය, ගුරු මණ්ඩලය සහ දරුවන් පන්දහසක් සමඟ එක්ව විදුහල්පති හිමියෝ සිය අධිෂ්ඨානය ජය ගන්නට පෙරුම් පුරති.

”අපගේ ආදි ශිෂ්‍ය සංගමයේ සිටින කළමනාකාරවරුන් සහ ඉංජිනේරුවන් මෙම පිහිනුම් තටාක ව්‍යාපෘතිය අධීක්ෂණය කරනවා. මේ පාසලේ ඉංජිනේරුවන් 221කගේ ළමයි ඉන්නවා. ඒ සැවොම මෙහි වැඩ කටයුතු සොයා බලනවා. අදාළ තාක්ෂණික දැනුම ඒ සඳහා වූ විශේෂඥ ආයතන මඟින් ලබාගන්නවා. මේ වැඩ කටයුත්තේදී කිසිම ලාබ අපේක්ෂාවක්, කොමිස් ගැහිල්ලක් නැහැ. සත 5ක් වත් පිටතට යන්නෙත් නැහැ. අමාරුවෙන් එකතු කරගන්නා සෑම සතයක්ම ඉතාම පිරිසුදුව මෙම කාර්ය සඳහා වැය වෙනවා. මෙම පිහිනුම් තටාක ව්‍යාපෘතිය පිළිබඳව මතු අනාගතයේදී පවා මෙහි වැලි ඇටයෙන් වැලි ඇටයට අපට වගකියන්න පුළුවන්” යැයි උන්වහන්සේ පැවසූහ.

”පිහිනුම් තටාකයක් තිබුණාට බැහැ. එයට අවශ්‍ය ගමනාගමන පහසුව හා පාරක් නැත්නම්. අපට ඒ සඳහා ගම්පහ මහ නගර සභාවෙ මැදිහත් වීමෙන් අංග සම්පූර්ණ පාරක් ලැබුණා. විදුහල දෙපසින් ඇති ප‍්‍රධාන අතුරු පාරවල් දෙකක් යා කරමින් පාසල් භූමිය අයිනෙන් මේ පාර ලැබුණා. මේ සෑම දෙයටම ආදි ශිෂ්‍ය සංගමයේ මඟ පෙන්වීම තියෙනවා. මා මගේ වාහනය බාරදුන්නෙත් ආදි ශිෂ්‍ය සංගමයටයි. මෙතැනදී දෙයක් කිව යුතුයි. ඒ මේ පාසලේ දරුවන් ගැන. ඒ අය මේ සැම දෙයක්ම තමන්ගේය යන හැඟීමෙන් සලකනවා”.

කොළොන්නාව - වැල්ලම්පිටිය ශ‍්‍රී විමලාරාම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ වන ලබුතලේ සුදස්සන හිමි ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත්ව ආවේ මෙයට සිවු වසරකට පෙර එනම් 2005 වසරේදීය. එදා මෙදා තුර පාසලේ දියුණුව සඳහා උන්වහන්සේ වෙතින් අපමණ මෙහෙයක් සිදු කෙරිණි. පාසල සඳහා අංග සම්පූර්ණ ගෘහස්ථ කී‍්‍රඩාගාරයක්, කාය වර්ධන කී‍්‍රඩා සඳහා කී‍්‍රඩාගාරයක් සහ අංගසම්පූර්ණ කී‍්‍රඩා පිටියක් සැකැසීම සහ දරුවන් වෙනුවෙන් පාසලට බස් රථයක් මිලදී ගැනීම ඉන් කීපයකි.

පරිත්‍යාග කළ මෝටර් රථය

උන්වහන්සේ ගේ උපන් ගම හඟුරන්කෙත ප‍්‍රදේශයේ සුන්දර ගම්මානයක් වන ලබුතලේ ය. පවුලේ සහෝදර සහෝදරියන් සය දෙනෙකි. ගමේ ප‍්‍රභූවරයකු මෙන්ම ඉඩම් හිමියකු ද වූ පියා ගොවිතැනට වැඩි නැඹුරුවක් දැක්වූයේය. උන්වහන්සේගේ පියා ජීවතුන් අතර නොමැති අතර මව ජීවතුන් අතර සිටින්නීය.

”මං ඉගෙන ගත්තේ පල්ලේපොල ම.මහා විද්‍යාලයේ. පාසලේ ඉගැන්වූ ස්වාමීන් වහන්සේ කෙනකු පිළිබඳ ඇතිවූ ගෞරවය හා භක්තිය මහණවීමට මා පෙළඹවූවා. මහණවීමට යනවාට අප්පච්චි විරුද්ධ වුණත් බලෙන්ම වාගේ මහණ වුණා. වයස අවුරුදු 15 දී පමණ වැල්ලම්පිටිය පන්සලට විත් මාසෙන් මහණ වූ පසු අප්පච්චිගේ විරෝධය නැතිවුණා.” යැයි විදුහල්පති හිමියෝ පැවසූහ.

විද්‍යොදය මහ පිරිවෙනේ සහ කොළඹ මරදාන ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ විදුහල්පති හිමියන්ගේ ගුරු හාමුදුරුවන් වූයේ හල්තොට ශ‍්‍රී මේධානන්ද අධිකරණ සංඝරාජ හිමියන්ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකර ගත් උන්වහන්සේ ගේ විෂයයන් වූයේ සංඛ්‍යාන විද්‍යාව, ගණිතය සහ ආර්ථික විද්‍යාව ය. උන්වහන්සේගේ මුල්ම පත්වීම ලැබුණේ රත්නපුර අයගම මධ්‍ය මහා විද්‍යාලයටය.

මෙම විද්‍යාලය උන්වහන්සේ විදුහල්පති ධූරය දරන පස්වැනි පාසලය.

”මේ පාසලේ දරුවෝ මගේ සංසාරගත දරුවන් වගෙයි. මේ ළමයි පාසලට ආදරෙයි. ඒ නිසා මේ දරුවන් වෙනුවෙන් යමක් කිරීම මගේ බලාපොරොත්තුවයි. පටන්ගත් මේ කටයුත්ත ඉවර නොකර ගියොත් මට හිතේ සැනසිල්ලක් නැහැ” උන්වහන්සේ කියති.

පන්දහසකට අධික දරු පිරිසක් තෙත් වූ නෙතඟින් යුතුව අධිෂ්ඨානයෙන් පිරුණු හදවත්වලින් යුක්තව උතුරා යන සංවේදීත්වයෙන් මෙසේ පවසති.

අපට මේ අභියෝගය ජයගත හැකියි..” අධිෂ්ඨානයෙන් ශක්තිමත් වූ සියනෑ පුරවර මේ මහා පාසලේ දරුවන්ගේ ප‍්‍රාර්ථනය වන අධිෂ්ඨානයේ පිහිනුම් තටාකය, මුළු මහත් සියනෑ පුරවරයෙන් ම ශූරයන් බිහිකරන දිනය වැඩි ඈතක නොවනු ඇත.

සේමාලි කැල්ලපත

0 comments:

Post a Comment